කොළඹ ග්රෑන්ඩ්පාස් සහ මරදාන ප්රදේශවල වෙඩි තැබීම් දෙකක් සිදුව ඇති අතර, ඉන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඊයේ (සැප්තැම්බර් 05) රාත්රී 11.45ට පමණ ග්රෑන්ඩ්පාස් මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 26 හැවිරිදි කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙම සිදුවීම සඳහා රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
අද (සැප්තැම්බර් 06) අලුයම 1.40ට පමණ මරදාන පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී ද තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ග්රෑන්ඩ්පාස් සිද්ධියට සමානවම, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම ප්රහාරය සිදු කර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා.
මෙම වෙඩි තැබීම් දෙකට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.