ගලේවෙල, මකුලුගස් වැව, හීනුග්ගල රක්ෂිතයේදී ගැබිනි මුවදෙනක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී බලපත්‍ර රහිත ගිනි අවි 03ක් ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම නව සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (ජූලි 25) දින අත්අඩංගුවට ගැනුණු පොලිස් සැරයන්වරු දෙදෙනා ඇතුළු තිදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි. ඊයේ අත්අඩංගුවට ගැනුණු පොලිස් සැරයන්වරයෙකු සහ සිවිල් පුද්ගලයා සහෝදරයන් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 04 දෙනා අද (ජූලි 26) දිනයේදී දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.