ඩෙංගු මරණ 23ක් සමඟ කොළඹ දිස්ත්‍රික්කය අධි අවදානම් කලාපයක් වෙයි

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු මරණ 23ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අතර කුඩා ළමුන් සිව් දෙනෙකු

මිතුරන් සමග බෙදාගන්න

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු මරණ 23ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අතර කුඩා ළමුන් සිව් දෙනෙකු ද සිටින බව එහි ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළාය. එමෙන්ම ගත වූ මාස 6ක කාලය තුළ ඩෙංගු රෝගීන් 40,443 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට 50ක්ම බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබේ. දැනට කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්ක ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.

රට පුරා වාර්තාවී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25.8ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම හේතුවෙන් එම කලාපය ‘අධි අවදානම්’ දිස්ත්‍රික්කයක් ලෙස නම් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු කර තිබේ. මේ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන සතියක් ජුනි මස 15 වන දින සිට 21 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව තීරණය කර ඇත. ඒ, එම කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීය.

පසුගිය කාලයේ පැවැති අධික වර්ෂාපතනය, වෛරසයේ ස්වභාවය සහ ජනතාව තුළ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රමාණවත් පරිදි වර්ධනය නොවීම රෝග ව්‍යාප්තිය ඉහළ යාමට බලපා ඇති බව එහිදී හෙළි විය. මෙවර ඩෙංගු ව්‍යාප්තිය නිවාසවලට වඩා වැඩි වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල් සහ ආගමික ස්ථාන වැනි පොදු ස්ථානවලින් වාර්තා වන අතර, එහි ඉවත් කරන ඝන අපද්‍රව්‍ය සහ කානු පද්ධති මදුරුවන් බෝවීමට ප්‍රධාන හේතුව වී තිබේ.

ඩෙංගු මර්දන සතිය තුළ ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කිරීම, අධි අවදානම් නිවාස පරීක්ෂා කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීම සිදු කෙරේ. පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා 10 ශ්‍රේණියට පහළ සිසුන් යොදා නොගන්නා ලෙසත්, ශිෂ්‍යයෙකුට රෝගය වැළඳී ඇත්නම් වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය අංශ පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. දින දෙකකට වැඩි තද උණ, හිසරදය, වමනය හා ශරීරයේ වේදනාව පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්