බටහිර තුර්කියේ සිදුවූ දරුණු ගුවන් අනතුරකින් තුර්කි ගුවන් හමුදාවට අයත් F-16 ප්‍රහාරක ජෙට් යානයක් විනාශ වී ඇති අතර, එහි ගමන් ගත් ගුවන් නියමුවා මියගොස් ඇති බව එරට බලධාරීන් නිල වශයෙන් තහවුරු කර තිබේ. අද (25) අලුයම පුහුණු ගුවන් ගමනක නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, යානය කඩා වැටීමත් සමඟ විශාල ගින්නක් ද හටගෙන ඇති බව වාර්තා වේ.
ගුවන් හමුදා වාර්තාවලට අනුව, යානය ගුවන්ගත කර මඳ වේලාවකට පසු රේඩාර් පද්ධතිය සමඟ තිබූ සබඳතා බිඳ වැටී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සෝදිසි කිරීමේ සහ සහන සේවා මෙහෙයුම් ආරම්භ කර තිබේ. දේශීය වේලාවෙන් අලුයම 1:00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත්, යානයේ සුන්බුන් අතර තිබී නියමුවාගේ සිරුර සොයාගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අවාසනාවන්ත සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කාර්මික දෝෂයක් හෝ අයහපත් කාලගුණය මෙයට බලපෑවේද යන්න පිළිබඳව තුර්කි ගුවන් හමුදාව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.