සංවේදී හදවත් ඇති සැදැහැවතුන්ට මහඟු පින්කමක් වූ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටින සුවිශේෂී දන්ත ධාතූන් වහන්සේට වැඳ පුදා ගැනීමට අවස්ථාව උදා කරමින් පැවති “සිරි දළදා වන්දනාව” අද දිනයෙන් (27) නිමාවට පත් වුණා.
අදත් උදෑසන 11:00 සිට පස්වරු 5:30 දක්වා පැවති මෙම පූජනීය අවස්ථාවට හැත්තෑ හය දහසකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වුණා.
පසුගිය දස දින තුළ ලක්ෂ ගණනක් බැතිමතුන් මහනුවරට පැමිණි අතර, ඔවුන් අව් වැසි නොතකා කිලෝමීටර් ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටිමින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ වන්දනා කිරීමේ භාග්‍යය ලබා ගත්තා. වසර 16කට පසුව උදා වූ මෙම දුර්ලභ අවස්ථාව පසුගිය අප්‍රේල් 18 වැනිදා ආරම්භ වුණා.
“සිරි දළදා වන්දනාව” සඳහා පිවිසුම් මාර්ග තුනෙහිම අද දිනයේත් දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, පැමිණි බැතිමතුන් වෙනුවෙන් නොයෙකුත් දන්සල් ද ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම යාපනයේ දෙමළ ජනතාව විසින් සංවිධානය කරන ලද සිසිල් පැන් දන්සලක් බොහෝ දෙනෙකුගේ පිපාසය නිවාලමින් සේවය කළා.
මහනුවර නගරයට ඇතුළු වන සියලුම මාර්ගවල විශේෂ පොලිස් මුරපොළවල් යොදවා තිබූ අතර, පැමිණෙන වාහන “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන්නේ දැයි දැඩි ලෙස පරීක්ෂා කරනු ලැබුවා.
අද පෙරවරු 11:00ට නැවතත් බැතිමතුන් සඳහා විවෘත වූ “සිරි දළදා වන්දනාව”, පස්වරු 3:00න් පසුව එහි ආරක්ෂාව, සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව ඇතුළු පහසුකම් සැපයූ සියලු පාර්ශ්වයන්ට ද දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දීම සුවිශේෂී කරුණක් වුණා.
කෙසේ වෙතත්, අද අවසන් දිනයේත් විශාල පිරිසක් දළදා වන්දනාව සඳහා පැමිණීමට අපේක්ෂාවෙන් සිටියත්, පවතින කාල සීමාව සීමිත වීම නිසා ඔවුන්ට එම අවස්ථාව ලබා දීමට නොහැකි වූ බව ආරක්ෂක අංශයේ නිලධාරීන් කාරුණිකව දැනුම් දුන්නා. එම අවස්ථාව අහිමි වූ බොහෝ බැතිමතුන් කඳුළු පිරි දෙනෙතින් යුතුව එම ස්ථානයෙන් පිටව යන අයුරු දක්නට ලැබුණා.