ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා මීළඟ පාප් පදවිය තෝරා ගැනීමේ නිල ක්‍රියාවලිය, එනම් කොන්ක්ලේව් මැයි 07 වනදා පැවැත්වීමට නියමිත බව වතිකානය නිවේදනය කර තිබෙනවා.
මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලත් කාදිනල්වරුන් සංඛ්‍යාව 135ක් වන අතර, ඔවුන් යුරෝපයෙන් 53ක්, ආසියාවෙන් 23ක්, උතුරු ඇමරිකාවෙන් 20ක්, අප්‍රිකාවෙන් 18ක්, දකුණු ඇමරිකාවෙන් 17ක් සහ ඕෂනියාවෙන් 4ක් ලෙස ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරනවා. මෙම ඡන්දයට සහභාගී වන කාදිනල්වරුන් වයස අවුරුදු 80ට අඩු විය යුතුයි.
වතිකානයේ සිස්ටීන් දේවස්ථානය තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම ලෝකයේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීමක් ලෙස සැලකෙන අතර, බාහිර ලෝකයෙන් වෙන්ව එය පැවැත්වීම සඳහා අද (28) සිට සිස්ටීන් දේවස්ථානය වසා දමා තිබෙනවා.
ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන කාදිනල්වරුන්ගේ ඡන්ද පත්‍රිකා, නව පාප්වරයෙකු තෝරා ගැනීමෙන් පසු ගිනි තබා විනාශ කරනු ලබන අතර, 1800 සිට පැවත එන මෙම සම්ප්‍රදායට හේතුව වන්නේ ඡන්දයේ රහස්‍යභාවය සුරැකීම සහ දේශපාලන බලපෑම්වලින් පල්ලිය ආරක්ෂා කර ගැනීමයි.
නව පාප්වරයෙකු තෝරාගත් බව බාහිර ලෝකයට දැනුම් දෙනු ලබන්නේ සිස්ටීන් දේවස්ථානයේ දුම් කවුළුවෙන් පිටවන දුමාරයෙනි. ඒ අනුව, සුදු දුමාරයක් පිටවුවහොත් කාදිනල්වරුන්ගේ ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගෙන නව පාප්වරයෙකු තේරී පත්වූ බව සංකේතවත් කෙරෙනවා.