බාලවයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගත් විට, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 6ක් ඇතුළත ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහුව හමුවීමට අවසර දිය යුතු බවට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ හතරලියද්ද ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවෙකුට පොලීසිය විසින් සිදුකළ අමානුෂික වධ හිංසාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් පසුවයි. 2022 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සිසුවාට හතරලියද්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා විසින් අමානුෂික ලෙස පහර දී ඔහුගේ දෑස්වලට නයි මිරිස් සාරය වත් කර හිංසා කර ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.
මෙම ක්‍රියාවලිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම සිසුවාට රුපියල් ලක්ෂ 3ක වන්දියක් සහ ඔහුගේ භාරකාරියට රුපියල් 75,000ක වන්දියක් තම පුද්ගලික මුදලින් ගෙවන ලෙස හතරලියද්ද පොලීසියේ එවකට වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක වීරකෝන් මහතාට නියෝග කළා.
විනිසුරු මඩුල්ල විසින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, අදාළ දරුවා අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරියා නීතිමය මූලධර්ම උල්ලංඝනය කරමින් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇති බවයි. වෛද්‍ය වාර්තා මගින්ද දරුවා වධ හිංසාවට ලක්වූ බව තහවුරු වී ඇති අතර, පසුකාලීනව ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
මෙම තීරණය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල ක්‍රියාකලාපය පිළිබඳව නැවත විමර්ශනය කිරීමට අවස්ථාවක් සපයයි.