පර්සියානු ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් අද (09) අලුයම එල්ල වූ ප්‍රබල ගුවන් ප්‍රහාර හේතුවෙන් කලාපීය ආරක්ෂාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සී.එන්.එන් (CNN) පුවත් සේවය වාර්තා කරයි. ඉරානය විසින් දියත් කරන ලද මෙම ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාව බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේටය වැනි රටවලට සෘජු බලපෑම් එල්ල කර තිබේ.
බහරේනයේ සිට්‍රා (Sitra) ප්‍රදේශයේ සිවිල් පදිංචි ස්ථාන ඉලක්ක කරමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයන් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ජාතික සන්නිවේදන මධ්‍යස්ථානය තහවුරු කරයි. තුවාල ලැබූවන් අතර මාස දෙකක බිළිඳකු සහ 17 හැවිරිදි දැරියක ද වන අතර සිව් දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව වාර්තා වේ. මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ බලශක්ති යටිතල පහසුකම් ආසන්නයේ පිහිටි ජනාවාස ඉලක්ක කර ගනිමිනි.
මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර අද උදෑසන ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයකින් දෙදරුම් කා ඇත. එය වත්මන් යුද සමය තුළ වාර්තා වූ බහිර්භූතම ශබ්දය බව විදෙස් මාධ්‍ය කණ්ඩායම් පවසයි. එරට ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කළේ අබුඩාබි අහසේදී මිසයිල තර්ජනයක් මැඩපැවැත්වීම සඳහා එරට ගුවන් ආරක්ෂක පද්ධති (Air Defense Systems) සාර්ථකව ක්‍රියාත්මක වූ බවයි.
කලාපයේ අනෙක් පසින් කුවේටය ද සිය ආරක්ෂාව තර කර ඇති අතර, අද උදෑසන එරට ආරක්ෂිත කලාපයකට ඇතුළු වූ හඳුනා නොගත් ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළීමට කුවේට් ජාතික ආරක්ෂක බලකාය පියවර ගෙන තිබේ. වැදගත් ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බව ආරක්ෂක අංශ පවසන අතර, මෙම ප්‍රහාර මාලාවත් සමඟ මුළු මැදපෙරදිග කලාපයම දැඩි යුද සූදානමකින් පසුවෙයි.