දෙවුන්දරට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබී රුපියල් බිලියන 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ අදාළ යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන ආ බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂාවලදී එම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් බව තහවුරු කරගෙන ඇත. එහි බර කිලෝග්‍රෑම් 123කට ආසන්න බවත්, උර 06ක බහා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම වැටලීමට අමතරව, මීට සුළු මොහොතකට පෙර බේරුවල මුහුදු සීමාවට ඔබ්බෙන් වූ ප්‍රදේශයකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ තවත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. එම යාත්‍රාව මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින අතර, එහි අඩංගු මත්ද්‍රව්‍ය ප්‍රමාණය නිවැරදිව ප්‍රකාශ කළ හැක්කේ යාත්‍රාව වරාය වෙත ළඟා වූ පසුව බව ආරක්ෂක අංශ පවසයි.
නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීම සඳහා සිදුකරන මෙම විශේෂ මෙහෙයුම් මාලාව යටතේ පසුගිය සතියේදී පමණක් දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය යාත්‍රා 03ක් වැටලීමට හැකිවිය. ඒ අනුව, මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රා 07ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා බුද්ධි අංශ සමත්ව තිබේ.