මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය නොසන්සුන්තාවය හමුවේ පසුගිය දින කිහිපය පුරා අසාමාන්‍ය ලෙස ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ වන විට සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබේ. අද (11) උදෑසන වන විට බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 87.88ක් දක්වාත්, අමෙරිකානු (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.35ක් දක්වාත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සඳුදා වන විට බොරතෙල් බැරලයක මිල 2022 වසරෙන් පසු පළමුවරට ඩොලර් 100 සීමාව ඉක්මවා යමින් ඩොලර් 119ක උපරිම අගයක් සටහන් කර තිබුණි. ඉරාන යුද උණුසුම මීට ප්‍රධානතම හේතුව වූ අතර, ගෝලීය වශයෙන් දැඩි ආර්ථික අස්ථාවරත්වයක් පිළිබඳ බියක් ද මතු විය.
කෙසේ වෙතත්, “මැදපෙරදිග යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති” බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිදුකළ ප්‍රකාශයත් සමඟ බොරතෙල් මිල 8%ක ප්‍රතිශතයකින් පහළ ගිය බව සඳහන් වේ. එම ප්‍රකාශයෙන් පසු බ්‍රෙන්ට් බොරතෙල් මිල ක්ෂණිකව ඩොලර් 90 සීමාවට පැමිණි අතර අද දිනය වන විට එය තවදුරටත් ස්ථාවර වී තිබේ.
අද උදෑසන ආසියානු වෙළඳපොළ ගනුදෙනු ආරම්භ වන විට, පසුගිය දිනවල පැවති දැඩි අවිනිශ්චිතභාවය පහව ගොස් තෙල් මිල සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් සමනය වීමට ඇති ඉඩකඩ මෙම ස්ථාවරත්වයට බෙහෙවින් ඉවහල් වී ඇත.