ශ්‍රී ලංකාවේ වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මක වන බවත්, වර්තමානයේ පවතින්නේ දෙවන රැල්ල බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (ජූලි 22) ප්‍රකාශ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්, වනජීවී දෙපාර්තමේන්තුව මුහුණ දෙන අභියෝග පිළිබඳව පැහැදිලි කළා.
“වනජීවී දෙපාර්තමේන්තුව අවම පහසුකම් මතයි වැඩ කරන්නේ. වෛද්‍යවරු දොළොස් දෙනයි ඉන්නේ. පසුගිය ජූලි 10 වැනිදා වන විට ඒ වෛද්‍යවරුන් 12 දෙනාට වෙඩි වැදුණු අලි නවදෙනකුට ප්‍රතිකාර කරන්න සිදු වුණා. දින කිහිපයකින් එම සංඛ්‍යාව 13 දක්වා වැඩි වුණා.” අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මෙම සිදුවීම් පිටුපස සංවිධානාත්මක සැලසුමක් ඇති බවට තමන් සැක කරන බවත්, “අලින්ගේ කකුල්වලට වෙඩි තියලා දුක් විඳලා මැරෙන්න සැලැස්වීමක් කරන්නේ. ඒක පාවිච්චි කරලා ජනතාව කුපිත කරන සැලසුමක් ද කියන සාධාරණ සැකය තියෙනවා” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළා.
තවද, දෙපාර්තමේන්තුවේ සේවකයන් අධෛර්යයට පත්වන ආකාරයට විපක්ෂය කටයුතු කරන බවට චෝදනා කළ අමාත්‍යවරයා, “කරුණාකරලා අලි ඇතුන් දේශපාලනය සඳහා ගාවගන්න එපා” යැයි ඉල්ලා සිටියා.
මෑතකදී මියගිය භාතිය ඇතා වෙනුවෙන් විශාල ලෙස මැදිහත් වූ බවත්, ඉන්දියාවේ වන්තාරා ආයතනයෙන් පවා වෛද්‍යවරු කැඳවා ප්‍රතිකාර කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා. ඇතා “මරා දාන්න” ලෙස තමන් ප්‍රකාශ කළ බවට පැතිරෙන වාර්තා ප්‍රතික්ෂේප කරමින්, “එතරම් වෙහෙසක් අපි ගත්තා” යැයි ඔහු පැවසුවා.
මෙම වන අලි ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවද අමාත්‍ය ධම්මික පටබැඳි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.