වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමෙන් පසු සැකකරුවන් පලා ගිය ආකාරය පිළිබඳව නව තොරතුරු CCTV පරීක්ෂණ ඔස්සේ අනාවරණය වී තිබේ.
පොලීසිය සිදුකළ CCTV පරීක්ෂණවලට අනුව, වෙඩි තැබීමෙන් පසු යතුරුපැදියකින් පළා ගිය සැකකරුවන් දෙදෙනා ටික දුරක් ගොස් ඉන් එක් අයෙකු බැස තවත් යතුරුපැදියක නැගී පළා ගොස් ඇති බවට තහවුරු වී තිබේ.
කෙසේ වෙතත්, මෙලෙස වෙනත් යතුරුපැදියකින් පළා ගොස් ඇත්තේ වෙඩික්කරුද, එසේත් නැතිනම් යතුරුපැදි පැදිකරුද යන්න සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.
ඊයේ (ඔක්තෝබර් 22) පෙරවරුවේ සිදුවූ මෙම ඝාතනය සඳහා නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ තිබුණි. පොලීසිය පැවසුවේ, ප්‍රාදේශීය සභාවේ මහජන දිනය වූ ඊයේ සිවිල් වැසියෙකු ලෙස වෙස් වලාගෙන පැමිණි අයෙකු සභාපතිවරයා මුණ ගැසෙන ආකාරයෙන් වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
දරුණු ලෙස තුවාල ලැබූ සභාපතිවරයා මාතර මහ රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටියේය.
මෙම ඝාතනය පාතාල ක්‍රියාවක් ලෙස සැකකරන පොලීසිය, මේ වන විට කණ්ඩායම් 4ක් යොදවා විමර්ශන දියත් කර තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධානම සැකය එල්ල වී ඇත්තේ දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘මිදිගම රුවන්’ හෙවත් රුවන් ජයසේකර වෙතය.
- ගිනි අවි ඔත්තුව: විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකුට අනුව, පසුගිය සැප්තැම්බර් 24 වනදා වැලිගමදී සොයාගත් මිදිගම රුවන්ට අයත් ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලබා දී ඇත්තේ ලසන්ත වික්‍රමසේකර මහතා බවට රුවන් සැක කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, ඝාතනයට ලක්වූ සභාපතිවරයාට පාතාල සබඳතා තිබූ බවට සැක කරන බවයි.
මේ අතර, සමගි ජනබලවේගයේ වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම හිටපු නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ, සභාපතිවරයා තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය සැප්තැම්බර් 29 වනදා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබූ බවයි.
ඝාතනය කෙරුණු සභාපතිවරයාගේ දේහය අද අලුයම මිදිගම පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබූ අතර, අවසන් කටයුතු ලබන 26 වනදා පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.