සිරස්තල

මරදාන දුම්රිය ස්ථානය නවීකරණය ඇරඹේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (සැප්තැම්බර් 15) පෙරවරුවේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. මෙය රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”

මිතුරන් සමග බෙදාගන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (සැප්තැම්බර් 15) පෙරවරුවේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.

මෙය රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” වැඩපිළිවෙළට සමගාමීව, ‘Clean Sri Lanka’ සහ ‘Dream Destination’ වැඩසටහන් යටතේ සිදු කෙරෙන ව්‍යාපෘතියකි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය මත දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ද ඇතුළුව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව තහවුරු කරන, පිරිසිදු සහ සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීමයි. ශ්‍රී ලංකාවේ ඓතිහාසික වශයෙන් වැදගත් වන මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් නොවන පරිදි මෙම නවීකරණ කටයුතු සිදු කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයා මෙම අවස්ථාවට සහභාගී වී සමරු ඵලකය නිරාවරණය කරමින් ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කළ අතර, එහි පාලක මැදිරිය ඇතුළු ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළා. මෙහිදී දුම්රිය දෙපාර්තමේන්තුවට අනන්‍ය වූ ‘රුහුණු කුමාරි’ නම් නව සිංහල පරිගණක අක්ෂරයද හඳුන්වා දෙනු ලැබුවා.

උත්සව සභාව ඇමතූ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා, මෙරට දුම්රිය සේවාව නොසලකා හැරීම සහ පැරණි දේශපාලන සංස්කෘතිය ගුණාත්මක දුම්රිය සේවාවක් ගොඩනැඟීමට අභියෝගයක් වූ බව සඳහන් කළා. ජනතාවගේ විශ්වසනීයත්වය නැවත ගොඩනඟමින් සක්‍රීය සහ කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වා ගැනීමත්, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයත් අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා සියලු පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙම අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා, පළාත් ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්