“වනස්පති” වැඩසටහනෙන් මෙරට රක්ෂිත වනාන්තර සංඛ්‍යාව 86 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ හරිත වියන සුරැකීම වෙනුවෙන් 2025 වසරේදී ආරම්භ කරන ලද “වනස්පති” ජාතික වැඩසටහන යටතේ මේ වන විට මෙරට වනාන්තර 81ක් නිල වශයෙන් ගැසට් පත්‍ර

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ හරිත වියන සුරැකීම වෙනුවෙන් 2025 වසරේදී ආරම්භ කරන ලද “වනස්පති” ජාතික වැඩසටහන යටතේ මේ වන විට මෙරට වනාන්තර 81ක් නිල වශයෙන් ගැසට් පත්‍ර මඟින් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එළැඹෙන ජුනි මස 5 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව තවත් වනාන්තර 5ක් රක්ෂිත බවට පත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර, ඒ සමඟම වනස්පති වැඩසටහන යටතේ මෙරට ප්‍රකාශයට පත් කළ සමස්ත රක්ෂිත වනාන්තර සංඛ්‍යාව 86ක් දක්වා ඉහළ යනු ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මෙම විශේෂ තොරතුරු අනාවරණය කළේය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ 2025 ජූලි 15 වනදා ගම්පහ බජ්ජංගොඩ රක්ෂිත පරිශ්‍රයේදී වනස්පති වැඩසටහන නිල වශයෙන් ඇරඹූ බවයි. එහි පළමු වසර තුළදී පමණක් වනාන්තර 29ක් රක්ෂිත බවට පත් කළ අතර, එමඟින් හෙක්ටයාර 50,000ක පමණ දළ වනාන්තර ප්‍රමාණයක් රටට දායාද කිරීමට හැකි වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව 2026 වසරේ ජගත් වනාන්තර දිනයේදී තවත් සුවිශේෂී පියවරක් තබමින් අම්පාර, බදුල්ල, නුවරඑළිය සහ මාතර යන දිස්ත්‍රික්ක 4 නියෝජනය වන පරිදි වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. හෙක්ටයාර 12,989ක භූමි ප්‍රමාණයකින් යුත් එම වනාන්තර එකතුවට මෙරට මධ්‍ය කඳුකරයේ අඩි 5,000කට වඩා උසින් පිහිටි අතිශය සංවේදී පාරිසරික කලාප ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම, පසුගිය අප්‍රේල් මස පැවැත්වුණු “ඒහිපස්සිකෝ සාම පාගමන”ට සමගාමීව අප්‍රේල් 24 වැනිදා මාතලේ දිස්ත්‍රික්කයේ නුගගහමුල යාය වනාන්තරය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිගම් පැලැල්ල වනාන්තරය ද රක්ෂිත සමූහයට එක් කර ඇත.

මෙම හරිත මෙහෙයුමේ නවතම පියවර ලෙස එළැඹෙන ජුනි 5 වැනිදා ජගත් පරිසර දිනයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි, හෙක්ටයාර 2,169ක සමස්ත වපසරියකින් යුත් වනාන්තර 5ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ අනුව මෙරට අතිශය සුවිශේෂී සත්ව හා ශාක විවිධත්වයකින් හෙබි සංවේදී කලාපයක් වන රිටිගල රක්ෂිතය, අලියාවැටුණුවැව රක්ෂිතය, බුලාගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය සහ කල්ලංචි වනාන්තරය මෙලෙස අලුතින්ම ජාතික රක්ෂිත පද්ධතියට එක්වීමට නියමිත ප්‍රධාන වනාන්තර කලාප වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්