ඊශ්‍රායලය වෙත ඉරානය විසින් දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර පවතින යුදමය තත්ත්වය අතිශය දරුණු මට්ටමකට පත්ව තිබේ. මෙම හදිසි ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ප්‍රධානතම ගුවන් තොටුපළක් වන “ඉමාම් කොමේනි” (Imam Khomeini) ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන සහ පිටත්වන සියලුම සිවිල් ගුවන් ගමන් “නැවත දැනුම් දෙන තුරු” වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඉරාන බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම ඉමාම් කොමේනි ගුවන් තොටුපළ ටෙහෙරාන් අගනුවර පිහිටි ප්‍රධානතම ගුවන් ද්වාර දෙකෙන් එකක් වන අතර, මැද පෙරදිග කලාපීය ගැටුම් හේතුවෙන් සති ගණනාවක් වසා දමා තිබී පසුගිය අප්‍රේල් මාසයේදීය නැවත මෙහෙයුම් සඳහා විවෘත කරනු ලැබුවේ.
මේ අතර, තමන් වෙත එල්ල වූ මිසයිල ප්‍රහාර රැල්ලට දැඩි ප්‍රතිප්‍රහාර දියත් කරන බවට ඊශ්‍රායල අගමැතිවරයා සිදුකළ ප්‍රකාශයෙන් පැය කිහිපයක් යන්නට මත්තෙන්, ඊශ්‍රායල ගුවන් හමුදාව (IAF) ඉරානය ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි ප්‍රධාන හමුදා කඳවුරු සහ උපායමාර්ගික මිලිටරි ඉලක්ක වෙත තමන් සාර්ථක ලෙස ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) නිල වශයෙන් තහවුරු කළේය. ඊශ්‍රායලය පවසන්නේ ඉරාන පාලනයට අයත් ත්‍රස්තවාදී සහ යුදමය ව්‍යූහයන් විනාශ කිරීම වෙනුවෙන් මෙම මෙහෙයුම දියත් කළ බවයි.
මිසයිල සහ ප්‍රති-මිසයිල ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග ගුවන් කලාපය (Airspace) පුරා මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇත.
ඉරානයට අමතරව අසල්වැසි රටවල් කිහිපයක් ද සිය ගුවන් කලාප තාවකාලිකව වසා දැමීමට හෝ ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීමට (Reroute) පියවර ගෙන ඇති අතර, මේ හේතුවෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා රැසක් දැඩි අර්බුදයකට ලක්ව තිබේ. සටන් විරාමයක් සඳහා ජාත්‍යන්තර බලපෑම් එල්ල වුව ද දෙපාර්ශවයම ප්‍රහාර නතර කරන ලකුණු මෙතෙක් පෙනෙන්නට නැත.