රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “ලොකු පැටී” නැමැත්තාගේ මුදල් කටයුතු මෙහෙයවූ බව කියන ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. දිනේෂ් කුමාර නැමැති මෙම සැකකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 30කට අධික මුදලක් සංසරණය වී ඇති බවට අනාවරණය වී ඇති බව CIDය අද (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය අධිකරණයට පෙන්වා දුන්නේ, “ලොකු පැටී” විසින් නීතිවිරෝධී ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය (Money Laundering) කිරීමේ කාර්යය මෙම කපු මහතා හරහා සිදුවී ඇති බවට සැක කරන බවයි. සැකකරු ලොකු පැටී සමඟ ඉතා සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර, බැංකු ගිණුම් හරහා සිදුවූ මෙම මහා පරිමාණ මුදල් ගනුදෙනු පිළිබඳව මේ වන විට වැඩිදුර තොරතුරු සොයා බලමින් පවතී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, අදාළ මුදල් ගනුදෙනු සහ වත්කම් පිළිබඳව විමර්ශන කඩිනම් කරන ලෙස නියම කළේය. එම විමර්ශනවල ප්‍රගතිය ඉදිරි දිනකදී අධිකරණයට වාර්තා කරන ලෙස ද නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන්ට නියෝග කෙරිණි.