අද (24) උදෑසන බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ “සාගරිකා” සීඝ්‍රගාමී දුම්රිය වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම අනතුරත් සමඟ දුම්රිය මාර්ගයේ ප්‍රධාන මංතීරු දෙකම අවහිර වී ඇති අතර, ඒ හේතුවෙන් දකුණු කළුතර සහ කොළඹ අතර දුම්රිය ධාවනය මේ වන විට සම්පූර්ණයෙන්ම නතර වී ඇත. කාර්යාලීය වේලාව තුළ මෙම පීලි පැනීම සිදුවීම නිසා රැකියා සඳහා යන මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
පීලි පැනීමට ලක්වූ දුම්රිය නැවත පීලිගත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික කණ්ඩායම් සහ මෙවලම් මේ වන විටත් වාද්දූව ප්‍රදේශය වෙත පිටත් කර යවා ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.