ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ වඩාත් අවධානය දිනාගත් තරගය වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (සැප්තැම්බර් 14) රාත්‍රී 8.00ට ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පවතින දේශපාලන ආතතිය හේතුවෙන් මෙම තරගය සඳහා ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දැඩි ලෙස යොමු වී තිබෙනවා.
මෙම පසුබිම යටතේ, තරගයේ ආරක්ෂාව තර කිරීම සඳහා ඩුබායි පොලීසිය දැඩි පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඩුබායි පොලීසියේ මෙහෙයුම් සහකාර, ප්‍රධාන අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් සයිෆ් මුහයර් අල් මැස්රෝයි මහතා පැවසුවේ, තරගය සඳහා විශේෂ ආරක්ෂක ඒකක යොදවා ඇති බවයි.
ක්‍රීඩාංගණය තුළ සහ ඉන් පිටත සිදුවන ඕනෑම කඩාකප්පල්කාරී ක්‍රියාවකට එරෙහිව කඩිනම් පියවර ගන්නා බවත්, මහජන ආරක්ෂාවට තර්ජන එල්ල කරන පුද්ගලයන්ට දැඩි දඩුවම්, අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් සිදු කරන බවත් ඔහු අවධාරණය කළා.
මීට අමතරව, තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් සඳහා නීති රීති මාලාවක්ද හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, පූර්ව අවසරයකින් තොරව තරග පිටියට ඇතුළුවීම හෝ පහත සඳහන් ද්‍රව්‍ය රැගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත:
- ගිනිකෙළි
- දැවෙන ද්‍රව්‍ය
- ලේසර්
- කුඩ
- විශාල කැමරා
- සෙල්ෆි කූරු
- තියුණු වස්තූන්
- විෂ සහිත ද්‍රව්‍ය
- කොඩි, බැනර්
- සුරතල් සතුන්
- දුරස්ථ පාලක උපාංග
- බයිසිකල්, ස්කූටර්, ස්කේට්බෝඩ්
- වීදුරුවලින් සාදන ලද ඕනෑම දෙයක්
එමෙන්ම, ජාතිවාදී හෝ අපහාසාත්මක භාෂාව භාවිත කිරීම සම්බන්ධයෙන් ද දඩ මුදල් සහ සිර දඬුවම් නියම විය හැකි බව ඩුබායි පොලීසිය සඳහන් කළා.
මෙම තරගය සඳහා 25,000කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.