2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ නවසීලන්තය හමුවේ ලැබූ පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි වී තිබේ. ඊයේ (25) රාත්‍රියේ පැවති මෙම තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වීමත් සමඟ මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා ගමනාන්තය සනිටුහන් විය.
මෙම පරාජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක සහ වත්මන් විස්තර විචාරක කුමාර් සංගක්කාර සිය ‘X’ (ට්විටර්) ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ ප්‍රේක්ෂකයින් දැඩි කලකිරීමකින් සහ කෝපයකින් පසුවන සේම, ක්‍රීඩකයින් ද මෙම පසුබෑම හමුවේ දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවයි. තමා ද මීට පෙර මෙවැනි අසීරු අවස්ථාවන්ට ක්‍රීඩාගාරය තුළ මුහුණ දී ඇති බව සිහිපත් කළ සංගක්කාර, රටක් නියෝජනය කිරීමේදී ලැබෙන වරප්‍රසාදය සමඟම මෙම වගකීම ද දැරීමට සිදුවන බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යළි නිවැරදි මාවතට ගැනීමට නම් සෑම ක්ෂේත්‍රයකම දැවැන්ත වෙනසක් විය යුතු බව ඔහු පවසයි. ලෝක ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් දියුණු වෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාව ඊට නිසි ලෙස අනුගත වී නොමැති බව ඔහුගේ අදහසයි.
“එකම දේ නැවත නැවතත් කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකියි” යනුවෙන් සඳහන් කළ ඔහු, ලෝකයට ගැළපෙන පරිදි අපේ රටේ ක්‍රීඩාව වහාම යාවත්කාලීන විය යුතු බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.