වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ, අදාළ පුද්ගලයන් අයථා ලෙස උපයාගත් බව කියන මුදල් යොදවා දේපළ මිලදීගෙන ඇති බවට ලැබුණු පැමිණිලිවලට අනුවයි.
මෙම විමර්ශනයේ නම් සඳහන් වන ප්‍රබල දේශපාලනඥයින් අතර, නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිසකුට්ටි ආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ ශාන්ත අබේසේකර යන අය ඇතුළත්.
ඉදිරියේදී ඔවුන්ව අදාළ ඒකකයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දේපළ සම්බන්ධයෙන්ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ විමර්ශනයේදී යම්කිසිවෙකු අයථා ලෙස මුදල් උපයාගෙන දේපළ මිලදීගෙන ඇති බවට හෙළි වුවහොත්, එම දේපළ පවරාගෙන අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව උසස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළා. මෙම විමර්ශනයන් හරහා දේශපාලන ක්ෂේත්‍රයේ විනිවිදභාවය තහවුරු කිරීමට බලධාරීන් අපේක්ෂා කරන බව පෙනී යයි.