හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිරීක්ෂණය යටතේ සිටින බැවින්, බොහෝදුරට අද (අගෝස්තු 26) දිනයේදී ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කරනවා.
කෙසේ වෙතත්, අවශ්‍ය වුවහොත් Zoom තාක්ෂණය ඔස්සේ හෝ නීති කටයුතු සඳහා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද දිනයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතයි.
පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අධිකරණ නියෝග මත අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදිනම ඔහු බන්ධනාගාර රෝහලටත්, ඉන් පසුදින කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයටත් ඇතුළත් කෙරුණා.
මේ වනවිට ඔහු විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් අධීක්ෂණය කරනු ලබන අතර, අද දිනයේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ යුතුද යන්න පිළිබඳ නිර්දේශ ද මෙම කමිටුව විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.