විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ඉදිරිපත් කළ ආයාචනය පිළිබඳව අවධානය යොමු කර, ඔහුට සුදුසු සහනයක් සලසා දෙන ලෙස ඉල්ලමින් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
මහ නාහිමියන් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ දැක්වෙන්නේ, පසුගිය 08 වැනිදා මනෝරි සලේ මහත්මිය අස්ගිරි මහා විහාරයට පැමිණ තමන් වහන්සේ හමුවී තම ස්වාමියා වෙනුවෙන් සහනයක් ලබා දීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් මෙම ආයාචනය ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව, ඇය විසින් තමන් වහන්සේ වෙත භාරදුන් එම ආයාචනා ලිපියේ පිටපතක් ද ජනාධිපතිවරයා වෙත යවන ලිපිය සමඟ ඇමුණුමක් (Attachment) ලෙස ඉදිරිපත් කිරීමට මහ නාහිමියන් පියවර ගෙන ඇත. අදාළ කරුණු කෙරෙහි ජනාධිපතිවරයාගේ සානුකම්පිත අවධානය යොමු කොට, ඒ සම්බන්ධයෙන් සුදුසු සහනදායී වැඩපිළිවෙළක් ඉටු කර දෙන ලෙස අස්ගිරි මහ නාහිමියන් එම ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.