2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදී ගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීමෙන් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලැබ සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ තවත් දෙදෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (මැයි 29) වරදකරු බවට තීන්දු කර තිබෙනවා.
ඒ අනුව, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇති බව සඳහන් වේ.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අවධාරණය කළේ, මෙම විත්තිකරුවන් තම ධුරයේ බලතල අයුතු ලෙස භාවිත කරමින් බරපතළ වරදක් සිදුකර ඇති බවයි. මහජන බදු මුදලින් රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට අහිමි වීමෙන් මහජනතාවට විශාල පාඩුවක් සිදුවූ බවත් ඇය පෙන්වා දුන්නාය.
මේ හේතුවෙන්, මෙවැනි වැරදි කිරීමට සූදානම් වන පුද්ගලයින්ට පාඩමක් කියා දෙන සහ දූෂණ විරෝධී ක්‍රියාවලියට අභිප්‍රේරණයක් සපයන ආකාරයේ තීන්දුවක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම තීන්දුව මෙරට දූෂණ විරෝධී ක්‍රියාමාර්ගයන්ට නව පණක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.