කොස්ගම, පරණගම පොදු සුසාන භූමියේ එකම ස්ථානයක භූමදානය කර තිබූ දියේ ගිලී මියගිය තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු තිබූ වළ හාරා, මන්ත්‍ර ගුරුකම් (තොවිලයක්) සිදුකළ සැකකරුවන් සෙවීම සඳහා කොස්ගම පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
ඉකුත් මැයි 16 වනදා කොස්ගම, තාවල්ගොඩ ඇලේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන්ගේ දේහයන් මෙම සුසාන භූමියේ එකම වළක මිහිදන් කර තිබුණි. කෙසේ වෙතත්, ඉකුත් 14 වනදා අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් මෙම වළ හාරා එහි තොවිල් කටයුත්තක් සිදුකර ඇති බව අනාවරණය විය.
සුසාන භූමිය අසල නිවසක CCTV කැමරා පරික්ෂා කිරීමේදී ඒ අසලින් ධාවනය වූ සැකකටයුතු කුඩා ලොරි රථයක් සහ යතුරුපැදියක් නිරීක්ෂණය වී ඇති අතර, ඒ ඔස්සේ කළ පරීක්ෂණවලදී කොස්ගම විද්‍යාල මාවතේ නිවසක වැසියන් පිරිසක් කොටු කරගැනීමට පොලිසිය සමත් විය. එහිදී නිවැසියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, තම බිරිඳගේ අසනීප තත්ත්වයක් සුව කිරීම සඳහා මහියංගණය ප්‍රදේශයෙන් යකදුරන් පිරිසක් ගෙන්වා අදාළ සොහොන් වළ අසල තොවිලයක් නැටූ බවයි. මෙම සිද්ධියට සම්බන්ධ නිවස හිමිකරු අත්අඩංගුවට ගෙන ඊයේ (16) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
අධිකරණ නියෝග මත හාරා තිබූ වළ නැවත වසා දැමීමට පොලිසිය කටයුතු කළ ද, එම ස්ථානයේ මිනී පෙට්ටි පවතින්නේද යන්න පිළිබඳව මියගිය තරුණයන්ගේ ඥාතීන්ට සහ ගම්වාසීන්ට බරපතළ සැකයක් මතු වීම නිසා ඊයේ සවස සුසාන භූමියේ උණුසුම් තත්ත්වයක් හටගත්තේය. පසුව ගම්වාසීන් ඉදිරියේම අදාළ වළ තවදුරටත් කැණීම් කර, ඒ තුළ මිනී පෙට්ටි සුරක්ෂිතව ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව, පෙර තිබූ පරිදිම එය නැවත භූමදානය කිරීමට පියවර ගැනුණි. තොවිලය නැටූ බව කියන මහියංගණයේ යකදුරා ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කොස්ගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.