දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි ලෙස ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.
ඊයේ (15) දින දක්වා ඇති දත්තවලට අනුව, වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 42,000ක් වාර්තා වී තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 30ක ශීඝ්‍ර වර්ධනයක් බව එම සංගමය පෙන්වා දෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බවයි. ඒ අතරින් කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල දැඩි අධි අවදානම් තත්ත්වයක් හටගෙන ඇත.
මෙම දිස්ත්‍රික්ක දෙකට අමතරව ගාල්ල, මාතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වන විට අධි අවදානම් මට්ටමක පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වත්මන් තත්ත්වය නිසි ලෙස පාලනය නොකළහොත් මෙය ඉදිරියේදී ‘අධි වසංගත’ (Severe Epidemic) තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා බාරදූර අනතුරු ඇඟවීමක් කරයි.