ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 114 වන වාර්ෂික මහා සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද (01) නිල වශයෙන් ආරම්භ වේ. ලෝකයේ ප්‍රධානතම ගෝලීය කම්කරු ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙන මෙම සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රික හමුව සඳහා සහභාගී වීමට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා ත්‍රෛපාර්ශ්වික නියෝජිත පිරිස ඊයේ (31) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියහ.
එළැඹෙන ජුනි මස 12 වැනිදා දක්වා පුරා දින 12ක් තිස්සේ පැවැත්වෙන මෙවර සමුළුව සංවිධානය කර ඇත්තේ “සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙන යමින් යහපත් රැකියා ප්‍රවර්ධනය කිරීම” යන කාලීන තේමාව මුල් කරගනිමිනි. ලෝකයේ වෘත්තීය ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළම ජාත්‍යන්තර වේදිකාව වන මෙම සමුළුව, ක්ෂේත්රයේ ප්‍රවීණයන් විසින් හඳුන්වනු ලබන්නේ “ගෝලීය කම්කරු පාර්ලිමේන්තුව” යන නාමයෙනි. මේ සඳහා ලෝක පුරා විසිරී සිටින ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජික රටවල් 187ක රජයන්, සේවායෝජකයින් සහ සේවක පාර්ශවයන් නියෝජනය කරන විශාල පිරිසක් එක්වීමට නියමිතය.
මෙවර දින දර්ශනයට අනුව පැවැත්වෙන සාකච්ඡාවලදී නූතන වැඩ ලෝකය මුහුණ දෙන ප්‍රධාන අභියෝග රැසක් කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. ඒ අනුව වර්තමාන ඩිජිටල් සහ අන්තර්ජාල වේදිකා ආශ්රිත (Platform Economy) රැකියාවල නිරත වන්නන්ගේ අයිතිවාසිකම් සුරැකීම, සේවා ස්ථාන තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම මෙන්ම රජය, ආයතන හිමිකරුවන් සහ සේවකයන් අතර පවතින ත්‍රෛපාර්ශ්වික සන්නිවේදනය ශක්තිමත් කිරීම වැනි කරුණු මෙහිදී ප්‍රධාන වශයෙන් සංවාදයට බඳුන් වේ.
මෙම ගෝලීය සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්බන්ධ වීම තුළින් ජාත්‍යන්තර කම්කරු ප්රමිතීන් පිළිබඳ නව අත්දැකීම් රටට ලබා ගැනීමට මෙන්ම වැඩ ලෝකයේ මතුවන නව ප්රවණතා සමඟ මෙරට වෘත්තීය නීති යාවත්කාලීන කිරීමට ද අනගි අවස්ථාවක් උදාවනු ඇත. එමෙන්ම සාධාරණ සේවා කොන්දේසි සැපයීම සහ තිරසර ආර්ථික සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය දේශීය වශයෙන් ක්‍රියාත්මක කරන ප්රගතිශීලී වැඩපිළිවෙළ ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට ද මෙය වැදගත් සන්ධිස්ථානයකි.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සමඟින් මෙරට රාජ්‍ය පරිපාලනය නියෝජනය කරමින් කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස සහ කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩායමක් මෙම නිල සංචාරයට එක්ව සිටිති.